Saturday, July 27, 2013

දුකට ගැයෙන කවි





දයා        සිරි 
වයඹ      සිරි 
කරනු     රිසි 
ගිය      අසිරි 

තුටින්     පිරි 
ජන     රුසිරි 
දෙමින්    පිරි 
කතිර      ඉරි 

නැවත    හැරි 
බලනු     බැරි 
මෝඩ     නරි 
වයඹ       පිරි 

(අවසරයෙන් උපුටා ගැනුණි)

Wednesday, July 3, 2013

දහතුන (13)


දැන් ඔය 13 ගැන ලොකු සද්දයක් යනවනේ. ආණ්ඩුවට නම් 13 ඇතුවත් බෑ. නැතුවත් බෑ. මොකද ඔය පළා බබා කියන්නේ සල්ලි ඉල්ලමක් නේ. ලොකු මැති ඇමැත්තෝ තම තමුන්ගේ වරිගේ චිරස්තිථිය පිණිස පළා බබා දිවිහිමියෙන් ආරක්ෂා කරන්නට හීන් නූලෙන් ගේම අදිනවත් ඇති. මොකද ඇමති බබාට දේශපාලනේ පුරුදු කරන්ඩ තියෙන හොඳම තැන මේක නේ. අනික ඉතිං ලොකුවට කියල කොරන්ඩ තරං දේකුත් නෑනේ ඕකෙන්. 
ඒත් ආණ්ඩුව විෂයයේ දී නම් 13 කියන්නේ අති විශාල උපක්‍රමික වටිනාකමක් තියෙන දෙයක්. දැනට ඇතිවෙමින් පවතින ආණ්ඩු විරෝධයත් විශේෂයෙන් පොහොර කප්පදුවත් සමග ගොවි ජනතාව තුලින් නැගෙන විරෝධය සමනය කරගැනීමට  නම් ජාති මාමක ආතල් එකක් දිය යුතුව තිබෙනවා. විවිධ පන්නයේ සේනාවන් පෝෂණය කිරීම හරහා ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායම් මෙතෙක් කලෙත් මේ ක්‍රියාකාරකම ම තමයි. 
පවතින තත්ත්වය හමුවේ පළාත්සභා සම්පුර්ණයෙන් අහෝසි කිරීම කාරනා කිහිපයක් යටතේ අවාසි සහගත විය හැකියි. ඉන්දියානු සාධකය මෙහිදී ප්‍රබලව සිටිනවා. මන්ද තමිල්නාඩුව හරහා ඉන්දීය මධ්‍යම රජය උතුරේ ප්‍රශ්නය තුල බැඳී සිටීම. එක්සත් ජාතීන් හමුවේ අප සිරවී සිටින උගුල ද මෙහිදී සැලකිය යුතුයි. මීළඟ ජිනීවා නාඩගමේ දී තමන්ගේ ගෙදරවැඩ පොත ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇති. අනෙක් කාරණය වන්නේ මෙවැනි දැඩි තීන්දුවක් හමුවේ උතුරේ සිවිල් ප්‍රජාව සහ දේශපාලන කණ්ඩායම් කුමන අයුරින් ප්‍රතිචාර දක්වාවි ද යන්න. මතක තබාගතයුතු කාරණය වන්නේ නැවත ඇතිවන අර්බුදයක් උණ්ඩයෙන් සමනය කිරීමේ හැකියාවක් අපට නොමැති වග. පැරණි වමේ ගෝරනාඩුව නම් එතරම් වැදගත් වන්නේ නැහැ. ඔවුන්ට ජන මතයක් හෝ සිද්ධාන්තයක් ගොඩනැගීමේ හැකියාවක් නෑ. නමුත් පාර්ලිමේන්තුව තුල සිදුවන ඔළුගෙඩි සෙල්ලමකදී නම් ඔවුන් ද යම් පමණකට වැදගත්. 
අපගේ මතය නම් පළාත්සභා වලින් අපේක්ෂිත අරමුණු ඉටු නොවුවා යන්නයි. අද වනවිට පළාත්සභා මගින් ප්‍රාදේශීය සංවර්ධනය කෙරේ විශාල දායකත්වයක් සපයන්නේ නැහැ. මේ මගින් සිදුවී ඇත්තේ පරිපාලනය අවුල් වීමක් පමණයි. උදාහරණයක් ලෙස මධ්‍යම ආණ්ඩුවේ පාසල් සඳහා වැඩි පහසුකම් ඉක්මනින් ලැබීමත් අනෙක් පාසල් එසේ නොවීමත් ගතහැකියි. ඉටු නොවූ අරමුණක් වෙනුවෙන් ජනතා මුදල් සහ දේපල නාස්තිකිරීමේ හරයක් නැහැ. ඒ අනුව පළාත්සභා අහෝසි කිරීම පිලිබඳ තර්කයක් නැහැ. එහෙත් ලොකු තොවිලයක් නටා දෙහි ගෙඩි දෙකක් පමණක් කැපුවාක් මෙන් දහන්ගැට දමා  13 වන සංශෝධනයේ කොටස් කිහිපයක් පමණක් ඉවත්කරන්නේ හෝ සංශෝධනය කරන්නේ නම් එය පමණක් සෑහෙන්නේ නැහැ. 
සත්‍ය වශයෙන් ම මේ ගැටලුවට විසඳුම් සොයන්නේ නම් කලයුත්තේ පළාත්සභා ක්‍රමය අහෝසි කිරීම සහ අහෝසි කල ක්‍රමය වෙනුවට වඩා කාර්යක්ෂම සහ පිරිමැසුම්දායී  ක්‍රමයක් හඳුන්වාදීමයි. නව ක්‍රමය යටතේ පරිපාලනය විධිමත් කලයුත්තාක් සේ ම  බෙදුම්වාදී තත්වයක් යලි ඇති නොවන තැනට වූ විසඳුමක් ද විය යුතු ය. අපගේ අදහස නම් 13 පිලිබඳ යමෙක්  කතාකළ යුත්තේ දෙවන විසඳුමක් සහිතව බවයි. එවිට ජාත්‍යන්තරයෙන් එන ප්‍රතිරෝධය ද නිශේද වී යනු ඇති.