Thursday, May 30, 2013

ආගම, සංස්කෘතිය සහ සිංහල බෞද්ධයා...... 01




මම මෙතන ආගම කියන කාරණයෙන් අදහස් කරේ බුදු දහම කියන එක. (බුද්ධාගම කියන්නේ බුදු දහම නෙවෙයි. බුද්ධාගම නම් අතිශයින් සංස්කෘතිකයි. ඒ ගැන පසුව කතා කරමු.) බුදු දහමට නැවත වැඩෙන්ඩ දෙයක් නෑ. එය උපතේදී ම සම්පූර්ණයි. එය ලෝකෝත්තරයි. රට, ජාතිය, කුලය ආදී බෙදීම් එහි නැහැ. බෞද්ධයෙකු පුහුණු වන්නේ සියල්ල අතහැරීමට මිස බදා ගැනීමට නොවෙයි. 
සංස්කෘතිය යනු එහි අනෙක් අන්තය යි . එය අතිශයින් ම ලෞකිකයි. වෙනස් වන සුළුයි. සංස්කෘතියට සීමාවක් නැහැ. මිනිසාගේ ආහාර රටාව, ශරීර කෘත්‍යයේ සිට සංගීතය, කලාව, නර්තනය, ඇදහිලි තෙක් මෙහි බලපෑම විහිදී යනවා. පොදුවේ අප සංස්කෘතිය ලෙස හඳුනා ගන්නේ යම් නිශ්චිත කාලයක් තුල යම් වපසරියක ජීවත් වන ජනයාගේ පොදු ලක්ෂණ. මෙය කාලයත් සමග වෙනස් වනවා. එම ජන සමාජය අඩංගු කුලකයේ අධ්‍යාපන මට්ටම, අත්දැකීම්, පිරිස් බලය මෙන්ම පාරිසරික සාධක, දේශපාලනය පවා මෙම සංස්කෘතිය කෙරේ බලපානවා. එමෙන් ම පොදු සංස්කෘතියක් තුල බොහෝ උප සංස්කෘතීන් පවතිනවා. එම උප සංස්කෘතීන් මහා සංස්කෘතිය පෝෂණය කරනවා සේ ම ඒ ජන සමාජය කෙරේ විවිධත්වයක් ඇති කරනවා. ලංකාවේ දැනට අප දකින ඊනියා සිංහල බෞද්ධ සංස්කෘතිය හත් කවලමක් . වැඩියෙන් තියෙන්නේ හින්දු ලක්ෂණ. අනෙක් ටික සුද්දන්ගෙන් ලැබුණු වික්ටෝරියානු සභ්‍යත්වය. බොහෝ අංගයන්ගෙන් මෙන්ම සිංහල ජනයා සිතුම් පැතුම් වලින් පවා උතුරු ඉන්දියානුවන්ට සමාන යි. එමෙන් ම මෙරට දක්නට ලැබෙන අයියනායක, ගලේ බණ්ඩාර, කළු දේවතා ආදී නොයෙක් ප්‍රාදේශීය දේව වන්දනා, වන්නි හත් පත්තුවේ දක්නට ලැබෙන කිරි ඉතිරවීමේ මංගල්‍ය ආදිය බුදු දහමට පෑහෙන්නේ නැහැ. ඒවා ආදී කාලීන ආගමික ඇදහිලි විය හැකියි. ඒවා දැන් අප සංස්කෘතියට බද්ධ කරගෙන පවත්වාගෙන යනවා. අනුව අලි සරසාගෙන යන පෙරහැර ක්‍රමය පවා මහ ඉහලින් දකින්නට ලැබෙන්නේ කේරලයේ කෝවිල් වල යි. බොහෝ විට අප එය ද සොරා ගත්තා විය හැකියි. කොහොමටත් සංස්කෘතිය කෙරේ පරිසරය නමැති සාධකය බලපාන නිසා අවට මහා සම්ප්‍රදායන් වල ලක්ෂණයන් අපේ සංස්කෘතියෙන් ද මුර්තිමත් වීම අපුලක් නෙවෙයි. එය සංස්කෘතිය විචිත්‍රවත් කරනවා. පොළොන්නරු යුගයෙන් පසු දකුණු ඉන්දීය හින්දු සම්ප්‍රදායන්හි ලක්ෂණ, බටහිර ජාතීන් මෙරට ආක්‍රමණය කිරීමත් සමග ඇතිවන යුරෝපීය ක්‍රමයන් ගේ සම්මිශ්‍රණ දේශපාලනය නමැති සාධකය ඔස්සේ සිදුවූ බලපෑම්.
අපි භාෂාවෙන් සිංහල වන්නෙමු. සංස්කෘතියට නමක් නැති නිසා සිංහල-බෞද්ධ ලෙස නම් තබා ඇත්තෙමු. සංස්කෘතිය ඇසුරු කොටගෙන භාෂාව නිසා උපන් සාහිත්‍යයක් ද අපට ඇත්තේ ය. අනෙක් අයටත් තිබේ. එය භාෂාව පෝෂණය කරයි. සංස්කෘතිය සේම භාෂාව ද කලවලම කි. සිංහලේ බොහෝ පද අසාමාන්‍ය ලෙස හින්දිය ට සමාන වේ. ඒ නිසා ම සිංහලයා බොහෝ පහසුවෙන් හින්දි ඉගෙන ගනී. අකුරුබොහෝ විටෙක තෙලිඟු වලට සමාන ය. විටෙක මලයාලම් වලට සමාන ය. ලෝකය ම එහෙම ය. 

දැන් අපි ආගම දෙසට හැරෙමු. ආගම යනු ඇදහිල්ලයි. එකම සංස්කෘතියක් තුල එකම එකම භාෂාව කතා කරන පිරිස් අතරේ ආගම් කිහිපයක් තිබිය හැකිය. එය එසේ ය. හොඳ ම උදාහරණය ඉන්දියාව යි. ආගම කුමක් වුවත් එක්කෝ. උතුරු ඉන්දීය ය. මලයාලම් ය. කේරළ ය. බෙන්ගාලි ය. දෙමළ ය.
ලංකාවේ ඇතැම්හු ද බුදු දහම ඇසුරෙන් අපට වඩාත් සමීප හින්දු ලක්ෂණ පූට්ටු කර ආගමක් තනන්නට නිරර්ථක උත්සාහයක යෙදී සිටී. එපමණක් නොව මිෂනාරි ලක්ෂණයන් ද, ඉස්ලාමීය ලක්ෂණයන් ද එකතු කරන්නට උත්සහ කරමින් සිටී. අනෙක් උන්ට ආගමක් ඇති එකේ බහුතරයා පාලනය කර ගැනීම ට ආගමක් අවශ්‍ය යැයි සමාජයේ ඇතැම් පිරිස් සිතන්නට පිළිවෙන. ආගම යනු ජනයා පාලනය කිරීමට අනගි කෙවිටක් බවත්, බුදු දහම යොදා ගනිමින් එය කිසි කලෙක සිදු නොකළ හැකි බවත් ඔවුහු දනිත්. දෛවයේ සරදමකට මෙන් සිංහල-බෞද්ධ ලෙස හඳුන්වා ගන්නා මෙම කල්ලි වලට අභියෝගක් වී ඇත්තේ ද බුදු දහම ම වෙයි.

ඔවුහු කවරහු ද? සිංහල-බෞද්ධයා සහ බදු දහම අතර ගැටුම කුමක් ද? මෙළඟ කොටසින් විසඳා ගත යුත්තේ වෙයි.

Saturday, May 18, 2013

විජයග්‍රහණය එදා සහ අද ....


අද මැයි 18 යි. විජයග්‍රහණ දිනයයි.උදෑසන ගාලු මුවදොර පිටියේ දී රජ්ජුරුවෝ එක පෝලිමක සිට ද (ගූ) කොල්ලෝ තවත් පෝලිමක සිට ද එකිනෙකාට salute ගසා විසිර ගියෝය. 
වෙනදාට නම් මෙවන් උත්සවයක් බලන්නේ හෙන හැංගීමකිනි. ඒත් දැන් එහෙම එකක් එන්නේ නැත. එවා ගන්නට වත් බැරි ය. 
යුද්ධය ඉවර වෙලා අවුරුදු හතරකි. උඩහ ගෙදර චන්ඩි අයියා ත්, එහා ගමේ සරතා ත් තවත් කොල්ලෝ කීප දෙනෙකුත් වතාවෙන් වතාවට දිවි පිදුවෝ ය. අපි මේ ගෙන්දගම් පොලවේ පය ගසාගෙන ඉන්නේ උන්ට පිංසිද්ද වෙන්න ය. 2010 යුද්ධය ඉවර වෙද්දී අපි හිතුවේ දැන් නම් අපේ අපල කාලය ඉවරයි කියලා ය. ගමේ එකාලාගේ ඔලු වල දාහක් හීන පීදුණි. අපේ ලෝකේ අහවර උනත් පුංචි එවුන්ට වත් ලස්සන ලෝකයක් බිහිවනු ඇතැයි අපි සිතුවෙමු. ආයේ ඉතින් බෝම්බ පුපුරන්නේ නැත. අපි තුන් හුලස් පිපිරෙව්වෙමු.  රටට කිරි උතුරවා නායක කාරකාදීන් ඇහැක් සේ බලා කියා ගන්නට අයියනායක දෙයියන්ට කන්නලවු කළෙමු.
ඔවුහු අපෙන් යුතුකම් ඉල්ලූ හ. අපි තුනෙන් දෙකට සිඳ යුතුකම් ඉෂ්ට සිද්ධ කලේ අහිංසක හිත් වල පිපුණු මහ මෙරක් බලාපොරොත්තු ඵල ගන්වනු පිණිස ය.
අදට තුන් වසකට ආසන්න කාලයක් සිඳී ගොසිනි. අපේ බලාපොරොත්තු රොත්ත ම අපේ අහිංසක හිත් වල ම පරල වෙලා ය. ඒ ඇත්තන්ගේ එව්වා පමණක් පීදිලා ය. කල ගොං කමක තරම තේරෙන කොට සියල්ල පිලිවෙලින් සිදුවී හමාරය.
මේ ඔවුන්ගේ යුද්ධයේ දී දකුණේ අපි ද උතුරේ අපේ එවුන් ද හරි හරියට මියෑදුන හ. එය පුනරාවර්ජනය කර සතුටු සිනා වපුරන්නට තරම්  සුන්දර ජයග්‍රහණයක් නොවේ. මහා ඛේදාන්තයකි. එහෙව් ඒවා මහ ඉහලින් සමරන්නට නුසුදුසු වනවා සේ ම  , ඒවායේ මතක සටහන් පවා තබා ගැනීමට අවැසි නැත. 
ඒ සමයේ ඛේදනීය සලකුණු සියල්ල විනාශ කල යුතුවාක් සේ ම ඒ සලකුණු තුබූ තැන්හි සහෝදරත්වයේ බිජු වැපිරිය යුත්තාහ. කොටින්ම ඒ තිස් වසර ඉතිහාසයෙන් මකා දැමිය යුතු ය. යුධ ස්මාරක හෝ යුධ සංචාරක ව්‍යාපාරය (උතුරේ සිදුවන) සිදු නොවිය යුතු දෑ ලෙස අප දකිමු. මක් නිසාද යත් අනාගතයේ යම් අයුරකින් සිදුවිය හැකි කුමන හෝ අන්තවාදයකට හෝ බෙදුම්වාදයකට උත්තේජනයන් මේ ස්මාරක තුලින් සැපයෙන නිසා ය.
දකුණට ඇති සියලු දෑ උතුරට ද දිය යුතු ය. පළාත්සභා කඩිනමින් ලබාදී චන්ද අයිතිය තහවුරු කල යුතු ය. 
යුධ මානසිකත්වය තව දුරටත් අවැසි නොවේ. එය සේවය කරන්නේ මහජනතාවට නොව පාලකයාට යි. ඔවුහු යුධ ජයග්‍රහණ පෙන්වා ඔවුනගේ නොපනත්කම් යහමින් සිදුකරමින් සිටිති.

Thursday, May 9, 2013

නවක වදයට පසු වදනක්


මේ ගැන විඩෙන් විඩේ එක එක මාධ්‍ය වල කතා කරන නිසා ත් මටත් ඒ ගැන කියන්නට යමක් ඇති නිසාත් මෙසේ ලියමි.
කොටින්ම මම මේ වචනය ලියන හැටි වත් දන්නේ නැත. නවක වදය ද නවකවදය ද යන්න දන්නා අයෙක් පැහැදිලි කරත්වා.
කොහොම ලිව්වත් කිව්වත් මට නම් මේ වද කෙරුවාවට දිරවන්නේ නැත. ඒත් විස්සවිද්‍යාල යන කාලයේ ඔව්වා ගැන කතාකරන්නට නොගියේ ඒ ක්‍රියාවට අසමාන වූ ද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් ලැබෙන නිසා ය. ඒත් අල වීමේ පාපයට ලක් නොවනු වස් වාත වෙන්නට (ඉඳ හිටලා) ගියෙමි. හැකි සෑම විටෙකම කට්ටි පැන්නෙමි.
ඒ කාලේ බොක්ක බෙදාගෙන අලවාගෙන ඉන්නට බැච් ආලම්බන ප්‍රීතියෙන් පොර talk වරුසා පිටින් ඇදබානා ලද සින්නො දැන් ඇඩ්‍රස් වල තබා email වල වත් නැත. හෙවනැල්ලත් තුනට හතරට බෙදාගෙන බොක්ක හවුලේ තබාගෙන ඉන්නට පාරම් බෑ බැචාලා බුකියේ වත් නැත. ඒ වෙනුවට ඉතිරිව ඇත්තේ පුද්ගලික දැන ඇඳුනුම් කම් කීපයක් පමණි. 
වාත කාලයේ සින්නො අප ඉදිරිපිට හෙන පොරවල් වුවෝ ය. අපි ජුන්නන් ඉදිරිපිට පොරවල් වීමු. ඔක්කොම අයියලා ය. අයියලා වන්නට වයස ද බලපෑවේ නැත. එක ම සාධකය වූයේ අවුරුද්දක් කලින් විස්සවිද්‍යාලයට රිංගා ගැනීම පමණි. සින්නෝ නිසි බලධාරීන් වූහ. උන්ට ඉහලින් ගියොත් බෙල්ල ගහලා යනවා ය.  විස්සවිද්‍යාලයෙන් පිටත අදටත් ඇතැම් පොර පාට් සින්නෝ එකී තියරිය අනුගමනය කරන්නට උත්සහ කරනු කොතෙකුත් අත්දැක ඇත්තෙමි. ඒ අර අහවල් වදය විසින් ඇතිකළ අතුරු ප්‍රතිපලයෝ ය.
මට නම් ඔය පිස්සුව එපා වන්නට ප්‍රධාන හේතුව මා සතු පුද්ගලික අනන්‍යතාවන්ට බරපතල පහරක් වැදීම ය. 
කිසිඳු මිනිසෙකු අහේතුකව වෙනත් පුද්ගලයෙකු යටතේ කටයුතු කිරීමට අකමැති ය. එසේ කිරීමට බල කිරීම යනු එකී පුද්ගලයා සතු මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. ඒ නයින් පළමුකොට නවක වදයට විරුද්ධ වෙමි. වසර කිහිපයකට පසු ආපසු හැරී බැලීමේදී ඒ තුලින්  සමාජයට දුන් දෙයක් හෝ සමාජය විසින් උකහා ගත් දෙයක් හෝ නැත. ඒ අනුව දෙවන කොට ද විරුද්ධ වෙමි. විශ්ව විද්‍යාල නවක වදය තුල ඇත්තේ මිනිසා විසින් මිනිසා පාලනය කිරීමේ පහත ආශාව සහ පොරක් වී බඩුවක් දමාගැනීම වැනි පටු අදහස් මිස මහා සමාජ දර්ශනයක් නොවේ. එනිසා තෙවැනි වරටත් විරුද්ධ වෙමි. 
මෙම ක්‍රමයේ උත්තුංග අරමුණ ඇතැමෙක් කියන පරිදි සහ අසා ඇති පරිදි එකිනෙකා අතර සුහදශීලී බව වර්ධනය කොට batch ෆිට් එක වැඩි කිරීම නම් ඒ සඳහා  මීට වඩා ප්‍රතිඵලදායි ක්‍රම කොතෙකුත් තිබේ. එසේ නම් උප සංස්කෘතියක් වූ පමණින් බුද්ධිමත් සමාජයක් විසින් තව දුරටත් මෙය නඩත්තු කල යුතු ද? 

Monday, May 6, 2013

ආගම යනු අත්වැරැද්දක් ද?



කාලෙක ඉඳන් මගේ ඔලුවේ හෙන පුරස්නයක් වැඩ කරනවා. 
දැන් ඔය මිනිසා කියන සතා මොන ක්‍රමයකින් හරි මේ ලෝකෙට උත්පාද උනා කියමුකෝ. දැන් මිනිසාගේ ලෝකේ පටන්ගත්ත ගමන් ම ලෝකෙට කියවීමේ තාක්ෂණේ  ලිවීමේ තාක්ෂණේ මේ තරමට දියුණු වෙලා තිබ්බේ නෑ නේ. ඒක ප්‍රත්‍යක්ෂයෙන් ම අපට අවබෝධ වෙනවා නේ. 
සරලම කාරනෙන් පටන් ගමු. දැන් මේ ලෝකේ දෙයියෝ මවලා ආගමකුත් මවලා තොපිලා ඕකේ කියන විදිහට හිටු කියලා කිව්වා කියමුකෝ. ඒ කාලේ තිබ්බ දේවල් වල හැටියට ඔය දෙයියෝ කියපු කප්පරක් ජාති වැලි පිල්ලේ ලියාගෙන කටපාඩම් කොරෝගෙන පොඩි එව්වොන්ටත් කියලදීගෙන ඉන්නවා කියන එක හෙනම ගේමක් නේ. එක නොවුවාය කියන කාරණෙත් අර වගේ ම ප්‍රත්‍යක්ෂයි.
දැන් එහෙනම් ලෝකෙට මේ ආගම කියන සංකල්පය මුලින්ම එන්නේ කොහොමද? 
මට නම් හිතෙන්නේ මිනිස්සු විද්‍යාව කියන දේ හොයාගෙන යන ගමන් අත්වැරැද්දකින් ආගම බිහිවුනාය කියන එක. 
මිනිස්සු ටිකෙන් ටික දියුණු වෙද්දී උන් සොබාදහම කියවන්ඩ උතසාහ කරන්ඩ ඇති. හරියට පොඩි ළමයක් වගේ. අපේ පුංචි කාලේ වගේ. පොඩි උන්ට මහ ගොඩක් ප්‍රශ්න. උපත ගැන, ජීවිතේ ගැන, සෙල්ලම් බඩු ගැන, ලෝකේ ගැන.
ආන්න ඒ වගේ. නොදියුණු මිනිසා ලෝකේ තේරුම් ගන්ඩ ගත්ත උතසහයේදී අප්‍රමාණ ප්‍රශ්න උපදින්ඩ ඇති.අකුණු ගහද්දි, අකුණු වැදිලා සත්තු මැරෙද්දි බයවෙන්ඩ ඇති. ස්වභාවික කුතුහලයත් එක්ක බොහෝ දේවල් ඉගෙන ගන්ඩ ඇති. බැරි හරිය අත්භූත දේවල් වලට බැර කරන්ඩ ඇති. 
සමහරවිට දෙවියන්ට කලින් ලෝකෙට වඩින්ඩ ඇත්තේ යක්ෂයා. මොකද සතුට කියන දේට වඩා බය කියන දේ මිනිස්සුන්ගේ හිතට මහා දරුණු විදියට කාවදින නිසා.
ඒ කාලේ අද වගේ විද්‍යාව,දේශපාලනය ආදී ලෙස බෙදුණු විෂයපථ නොතිබුණු නිසා මේ ඔක්කොම දැනුම තියන්ඩ ඇත්තේ එක ගොඩේ. හරියට නගර සභාවේ කුණු ලොරිය වගේ. 
කාලයත් එක්ක පෙරළිකාර නිදහස චින්තකයන් බිහිවීමත් එක්ක සාම්ප්‍රදායික අදහස් සහ රැඩිකල් අදහස් අතර පරස්පරයක් ඇතිවෙන්ද ඇති.
මේ පරස්පරයන් අන්‍යේන්‍ය සහයෝගයෙන් සහ තරඟකාරී තත්වයක් තුල වර්ධනය වෙන්ඩ ඇති. බුදුන් වැඩ සිටි යුගය සහ සමකාලීන කතා පුවත් මෙහි උච්චතම අවස්ථාව සනිටුහන් කරන නිදසුන් ලෙස ගත හැක.
අවසන් ප්‍රතිපලය ලෙස ආගම, විද්‍යාව, දර්ශනය වෙන් වෙන් වශයෙන් ස්වකීය වූ ගමනක් අරඹන්ඩ ඇති.

Saturday, May 4, 2013

ගුණේ අයියලා සහ මැයි දිනය....
අද හවසත් halt එකට ආවාමේක පාලුවට ගිහිල්ල නේහවස් ජාමේ වැටිච්ච වැස්ස හින්ද ද කොහෙද පාරේ මිනිස් පුළුටක් නෑපට්ට කම්මැලියි ඕයි. ඕන්න එනවා බස් එකක්. චරාස් ගාල බ්‍රේක් පාරක් ගහගෙන නැවැත්තුවා. පොරක් බැස්සා. හුටා මේ ගුණේ අයිය නේ. කොලර් එකයි අත් දෙකයි නිල් පාට වෙච්චි කොළ පාට කමිසයක් ඇඳගෙන දැන් ගුණේ අයියා halt එක ඉස්සරහ ඉන්නවා.
අප්පට බොල ගුණේ අයියේ කොහෙදෑ ගියේ.....
ආහ් මලයෝ මේ රැළියට ගිහින් එන ගමං....
පිස්සු පීකුදු නේ ....
ගුණේ අයියා කුරුණෑගල රැළියට යැ ගියේ....
හැප්.... නෑ බොලව් කැම්බෙල් කැම්බෙල්....
ඈහ්... උඹ සදා හරිත නේහ්......
එව්වා එහෙම තමයි මලයා.... දැන් බලපං, අපි කොයි පාට එකට ගියත් ඇඟේ දුවන්නේ රතු පාට ලේ නේහ්. ආන්න ඒ වගේ තමා... පස්සේ පාට මොක උනත් ඇතුලේ දුවන්නේ කොළ පාට නේහ්. එව්වා එහෙම වෙච්චි එකේ ලාවට නිල වෙච්චි කොළ පාට තමා පහර.
කතාව සිරා ය. ශ්‍රී ලංකා කිව්වට දැන් ශ්‍රී ලංකා එකක් නැත. ඇත්තේ මදේ කොළ වෙච්ච වටේ නිල් වෙච්ච පුහුල් ගෙඩියකි. ඒ වුනාට ගුණේ අයියලා තාමත් ලකුණට කඩේ යනවා ය. ගියැයි කියා කොරගත්ත අටමගලියකුත් නැත. ඒ ගැමියෙක් වෙච්චි උන්දැලා ගේ අව්‍යාජකම නිසා ද එහෙමත් නැත්නම් මෝඩකම නිසාද යැයි කියන්ඩ දන්නේ නැත.
මෙවර මැයි රැළි වෙනදාට වඩා ජනතා අවධානයට බඳුන් විය. හේතුව පක්ෂ දේශපාලනය තුල පැවති දැඩි ඒකාධිකාරය සහ පවතින ජනතා ප්‍රශ්න හමුවේ අනෙක් දේශපාලන බලවේග වල හැසිරීම පිලිබඳ තක්සේරුවයි. දැන් දැන් සමාජය පවතින ක්‍රමයට විකල්පයක් ඉල්ලමින් සිටී. ඇතැම්හු විකල්ප තෝරමින් සිටී. එවන් තත්වයක් හමුවේ සිය ප්‍රතිරූපය ඔපමට්ටම් කිරීමට මැයි රැළි යොදා ගැනීමට ප්‍රධාන දේශපාලන බලවේග ක්‍රියා කරනු පෙනිණි. වඩා වැදගත් සංසිද්ධිය වූයේ ඒ ඒ ධාරාවන්හි සැබෑ ස්වරූපය  නිරායාසයෙන් උද්දීපනය වීමයි. 
ආණ්ඩුවේ රැළිය මුළුමනින් පාහේ පෙරහැරක සිරි ගත්තේ ය. වැඩකරන ජනතාව පිලිබඳ කිසිඳු සටහනක් එහි නොවී ය. ආණ්ඩුවේ හරයක් නොමැති සැරසිලි දේශපාලන ආර්ථික ප්‍රතිපදාව ඉන් සන්ධ්වනය කිරිණි.
යූඇන්පිය පට්ට පජාත ය. විකල්ප ආණ්ඩුවක් විය යුතු සහ රටේ බාරධූර දේශපාලන බලමුළුවක තිබියයුතු සංයමය එහි තිබුනේ නැත.රැළි කිහිපයක් රටේ මුළු කිහිපයක තිබුනේ ය. ඒ යූඇන්පී කල්ලි වාදය පිළිබිඹු කිරීමට ය. 
ශ්‍රී ලංකාවේ සමාජවාදය කලාවක් කරගත් පිරිස් සිටිති. දීප්ති කුමාරලා ඒ කුලකයේ ඇත්තෝ ය. පෙරටුගාමී නඩය ද ඒ ගොඩට ම  වැටෙමින් සිටී. ඒ කලාවට මම බොහෝ සේ ඇලුම් කරමි. පෙරටුගාමී කලාත්මක සමාජවාදයට ඉත සිතින් සුබ පත්තන්නේ ඒ නිසාය. "සමාජවාදී ජීවිතය" කෙතරම් අරුත්බර ද මහතුනි?
ජෙප්පන් ගේ රැළිය දකිද්දී සෝවියට් රුසියාව සිහිවුනි. විනය top class ය. කතා කරන්නට දෙයක් නැත. ඔවුහු මහත් කැපවීමෙන් සහ නැවුම් උධ්‍යෝයෝගකින් රැළියේ ගමන්කරනු පෙනිණි. ජවිපෙ ට නව පූර්ණකාලීනයන් රැසක් එක්ව තිබෙනු දැකිය හැකි විය. 2004 සන්ධානයක් ගසාගෙන කුජීත වී එක පිම්මට බොහෝ දේ නැතිකරගත් ජෙප්පන් යලිත් අළු මතින් නැගී සිටින්නට උත්සාහ දැරීම සතුටට කරුණකි. 
අද ලෝකයා ලබන අයිතීන් කිසිවක් නොමිලයේ ලද ඒවා නොවේ. දහසක් ලේ දහසක් කඳුළු දහසක් කැපකිරීම් මත ගොඩනැගුන ඒවා ය. ලෝකය පුරා බොහෝ මිනිසුන් අනුන් උදෙසා කැමැත්තෙන් සිය ජීවිත කැපකලාහුය. 
අතීතය සුන්දර නැත. අනාගතය සුන්දර කිරීමට වත්මනෙහි වැඩ කල යුතු ය.
ඒත් ගුණේ අයියලා නම් තාමත් එතැනම ය.