Thursday, May 30, 2013

ආගම, සංස්කෘතිය සහ සිංහල බෞද්ධයා...... 01




මම මෙතන ආගම කියන කාරණයෙන් අදහස් කරේ බුදු දහම කියන එක. (බුද්ධාගම කියන්නේ බුදු දහම නෙවෙයි. බුද්ධාගම නම් අතිශයින් සංස්කෘතිකයි. ඒ ගැන පසුව කතා කරමු.) බුදු දහමට නැවත වැඩෙන්ඩ දෙයක් නෑ. එය උපතේදී ම සම්පූර්ණයි. එය ලෝකෝත්තරයි. රට, ජාතිය, කුලය ආදී බෙදීම් එහි නැහැ. බෞද්ධයෙකු පුහුණු වන්නේ සියල්ල අතහැරීමට මිස බදා ගැනීමට නොවෙයි. 
සංස්කෘතිය යනු එහි අනෙක් අන්තය යි . එය අතිශයින් ම ලෞකිකයි. වෙනස් වන සුළුයි. සංස්කෘතියට සීමාවක් නැහැ. මිනිසාගේ ආහාර රටාව, ශරීර කෘත්‍යයේ සිට සංගීතය, කලාව, නර්තනය, ඇදහිලි තෙක් මෙහි බලපෑම විහිදී යනවා. පොදුවේ අප සංස්කෘතිය ලෙස හඳුනා ගන්නේ යම් නිශ්චිත කාලයක් තුල යම් වපසරියක ජීවත් වන ජනයාගේ පොදු ලක්ෂණ. මෙය කාලයත් සමග වෙනස් වනවා. එම ජන සමාජය අඩංගු කුලකයේ අධ්‍යාපන මට්ටම, අත්දැකීම්, පිරිස් බලය මෙන්ම පාරිසරික සාධක, දේශපාලනය පවා මෙම සංස්කෘතිය කෙරේ බලපානවා. එමෙන් ම පොදු සංස්කෘතියක් තුල බොහෝ උප සංස්කෘතීන් පවතිනවා. එම උප සංස්කෘතීන් මහා සංස්කෘතිය පෝෂණය කරනවා සේ ම ඒ ජන සමාජය කෙරේ විවිධත්වයක් ඇති කරනවා. ලංකාවේ දැනට අප දකින ඊනියා සිංහල බෞද්ධ සංස්කෘතිය හත් කවලමක් . වැඩියෙන් තියෙන්නේ හින්දු ලක්ෂණ. අනෙක් ටික සුද්දන්ගෙන් ලැබුණු වික්ටෝරියානු සභ්‍යත්වය. බොහෝ අංගයන්ගෙන් මෙන්ම සිංහල ජනයා සිතුම් පැතුම් වලින් පවා උතුරු ඉන්දියානුවන්ට සමාන යි. එමෙන් ම මෙරට දක්නට ලැබෙන අයියනායක, ගලේ බණ්ඩාර, කළු දේවතා ආදී නොයෙක් ප්‍රාදේශීය දේව වන්දනා, වන්නි හත් පත්තුවේ දක්නට ලැබෙන කිරි ඉතිරවීමේ මංගල්‍ය ආදිය බුදු දහමට පෑහෙන්නේ නැහැ. ඒවා ආදී කාලීන ආගමික ඇදහිලි විය හැකියි. ඒවා දැන් අප සංස්කෘතියට බද්ධ කරගෙන පවත්වාගෙන යනවා. අනුව අලි සරසාගෙන යන පෙරහැර ක්‍රමය පවා මහ ඉහලින් දකින්නට ලැබෙන්නේ කේරලයේ කෝවිල් වල යි. බොහෝ විට අප එය ද සොරා ගත්තා විය හැකියි. කොහොමටත් සංස්කෘතිය කෙරේ පරිසරය නමැති සාධකය බලපාන නිසා අවට මහා සම්ප්‍රදායන් වල ලක්ෂණයන් අපේ සංස්කෘතියෙන් ද මුර්තිමත් වීම අපුලක් නෙවෙයි. එය සංස්කෘතිය විචිත්‍රවත් කරනවා. පොළොන්නරු යුගයෙන් පසු දකුණු ඉන්දීය හින්දු සම්ප්‍රදායන්හි ලක්ෂණ, බටහිර ජාතීන් මෙරට ආක්‍රමණය කිරීමත් සමග ඇතිවන යුරෝපීය ක්‍රමයන් ගේ සම්මිශ්‍රණ දේශපාලනය නමැති සාධකය ඔස්සේ සිදුවූ බලපෑම්.
අපි භාෂාවෙන් සිංහල වන්නෙමු. සංස්කෘතියට නමක් නැති නිසා සිංහල-බෞද්ධ ලෙස නම් තබා ඇත්තෙමු. සංස්කෘතිය ඇසුරු කොටගෙන භාෂාව නිසා උපන් සාහිත්‍යයක් ද අපට ඇත්තේ ය. අනෙක් අයටත් තිබේ. එය භාෂාව පෝෂණය කරයි. සංස්කෘතිය සේම භාෂාව ද කලවලම කි. සිංහලේ බොහෝ පද අසාමාන්‍ය ලෙස හින්දිය ට සමාන වේ. ඒ නිසා ම සිංහලයා බොහෝ පහසුවෙන් හින්දි ඉගෙන ගනී. අකුරුබොහෝ විටෙක තෙලිඟු වලට සමාන ය. විටෙක මලයාලම් වලට සමාන ය. ලෝකය ම එහෙම ය. 

දැන් අපි ආගම දෙසට හැරෙමු. ආගම යනු ඇදහිල්ලයි. එකම සංස්කෘතියක් තුල එකම එකම භාෂාව කතා කරන පිරිස් අතරේ ආගම් කිහිපයක් තිබිය හැකිය. එය එසේ ය. හොඳ ම උදාහරණය ඉන්දියාව යි. ආගම කුමක් වුවත් එක්කෝ. උතුරු ඉන්දීය ය. මලයාලම් ය. කේරළ ය. බෙන්ගාලි ය. දෙමළ ය.
ලංකාවේ ඇතැම්හු ද බුදු දහම ඇසුරෙන් අපට වඩාත් සමීප හින්දු ලක්ෂණ පූට්ටු කර ආගමක් තනන්නට නිරර්ථක උත්සාහයක යෙදී සිටී. එපමණක් නොව මිෂනාරි ලක්ෂණයන් ද, ඉස්ලාමීය ලක්ෂණයන් ද එකතු කරන්නට උත්සහ කරමින් සිටී. අනෙක් උන්ට ආගමක් ඇති එකේ බහුතරයා පාලනය කර ගැනීම ට ආගමක් අවශ්‍ය යැයි සමාජයේ ඇතැම් පිරිස් සිතන්නට පිළිවෙන. ආගම යනු ජනයා පාලනය කිරීමට අනගි කෙවිටක් බවත්, බුදු දහම යොදා ගනිමින් එය කිසි කලෙක සිදු නොකළ හැකි බවත් ඔවුහු දනිත්. දෛවයේ සරදමකට මෙන් සිංහල-බෞද්ධ ලෙස හඳුන්වා ගන්නා මෙම කල්ලි වලට අභියෝගක් වී ඇත්තේ ද බුදු දහම ම වෙයි.

ඔවුහු කවරහු ද? සිංහල-බෞද්ධයා සහ බදු දහම අතර ගැටුම කුමක් ද? මෙළඟ කොටසින් විසඳා ගත යුත්තේ වෙයි.

1 comment: