Saturday, May 18, 2013

විජයග්‍රහණය එදා සහ අද ....


අද මැයි 18 යි. විජයග්‍රහණ දිනයයි.උදෑසන ගාලු මුවදොර පිටියේ දී රජ්ජුරුවෝ එක පෝලිමක සිට ද (ගූ) කොල්ලෝ තවත් පෝලිමක සිට ද එකිනෙකාට salute ගසා විසිර ගියෝය. 
වෙනදාට නම් මෙවන් උත්සවයක් බලන්නේ හෙන හැංගීමකිනි. ඒත් දැන් එහෙම එකක් එන්නේ නැත. එවා ගන්නට වත් බැරි ය. 
යුද්ධය ඉවර වෙලා අවුරුදු හතරකි. උඩහ ගෙදර චන්ඩි අයියා ත්, එහා ගමේ සරතා ත් තවත් කොල්ලෝ කීප දෙනෙකුත් වතාවෙන් වතාවට දිවි පිදුවෝ ය. අපි මේ ගෙන්දගම් පොලවේ පය ගසාගෙන ඉන්නේ උන්ට පිංසිද්ද වෙන්න ය. 2010 යුද්ධය ඉවර වෙද්දී අපි හිතුවේ දැන් නම් අපේ අපල කාලය ඉවරයි කියලා ය. ගමේ එකාලාගේ ඔලු වල දාහක් හීන පීදුණි. අපේ ලෝකේ අහවර උනත් පුංචි එවුන්ට වත් ලස්සන ලෝකයක් බිහිවනු ඇතැයි අපි සිතුවෙමු. ආයේ ඉතින් බෝම්බ පුපුරන්නේ නැත. අපි තුන් හුලස් පිපිරෙව්වෙමු.  රටට කිරි උතුරවා නායක කාරකාදීන් ඇහැක් සේ බලා කියා ගන්නට අයියනායක දෙයියන්ට කන්නලවු කළෙමු.
ඔවුහු අපෙන් යුතුකම් ඉල්ලූ හ. අපි තුනෙන් දෙකට සිඳ යුතුකම් ඉෂ්ට සිද්ධ කලේ අහිංසක හිත් වල පිපුණු මහ මෙරක් බලාපොරොත්තු ඵල ගන්වනු පිණිස ය.
අදට තුන් වසකට ආසන්න කාලයක් සිඳී ගොසිනි. අපේ බලාපොරොත්තු රොත්ත ම අපේ අහිංසක හිත් වල ම පරල වෙලා ය. ඒ ඇත්තන්ගේ එව්වා පමණක් පීදිලා ය. කල ගොං කමක තරම තේරෙන කොට සියල්ල පිලිවෙලින් සිදුවී හමාරය.
මේ ඔවුන්ගේ යුද්ධයේ දී දකුණේ අපි ද උතුරේ අපේ එවුන් ද හරි හරියට මියෑදුන හ. එය පුනරාවර්ජනය කර සතුටු සිනා වපුරන්නට තරම්  සුන්දර ජයග්‍රහණයක් නොවේ. මහා ඛේදාන්තයකි. එහෙව් ඒවා මහ ඉහලින් සමරන්නට නුසුදුසු වනවා සේ ම  , ඒවායේ මතක සටහන් පවා තබා ගැනීමට අවැසි නැත. 
ඒ සමයේ ඛේදනීය සලකුණු සියල්ල විනාශ කල යුතුවාක් සේ ම ඒ සලකුණු තුබූ තැන්හි සහෝදරත්වයේ බිජු වැපිරිය යුත්තාහ. කොටින්ම ඒ තිස් වසර ඉතිහාසයෙන් මකා දැමිය යුතු ය. යුධ ස්මාරක හෝ යුධ සංචාරක ව්‍යාපාරය (උතුරේ සිදුවන) සිදු නොවිය යුතු දෑ ලෙස අප දකිමු. මක් නිසාද යත් අනාගතයේ යම් අයුරකින් සිදුවිය හැකි කුමන හෝ අන්තවාදයකට හෝ බෙදුම්වාදයකට උත්තේජනයන් මේ ස්මාරක තුලින් සැපයෙන නිසා ය.
දකුණට ඇති සියලු දෑ උතුරට ද දිය යුතු ය. පළාත්සභා කඩිනමින් ලබාදී චන්ද අයිතිය තහවුරු කල යුතු ය. 
යුධ මානසිකත්වය තව දුරටත් අවැසි නොවේ. එය සේවය කරන්නේ මහජනතාවට නොව පාලකයාට යි. ඔවුහු යුධ ජයග්‍රහණ පෙන්වා ඔවුනගේ නොපනත්කම් යහමින් සිදුකරමින් සිටිති.

No comments:

Post a Comment