Saturday, May 4, 2013

ගුණේ අයියලා සහ මැයි දිනය....
අද හවසත් halt එකට ආවාමේක පාලුවට ගිහිල්ල නේහවස් ජාමේ වැටිච්ච වැස්ස හින්ද ද කොහෙද පාරේ මිනිස් පුළුටක් නෑපට්ට කම්මැලියි ඕයි. ඕන්න එනවා බස් එකක්. චරාස් ගාල බ්‍රේක් පාරක් ගහගෙන නැවැත්තුවා. පොරක් බැස්සා. හුටා මේ ගුණේ අයිය නේ. කොලර් එකයි අත් දෙකයි නිල් පාට වෙච්චි කොළ පාට කමිසයක් ඇඳගෙන දැන් ගුණේ අයියා halt එක ඉස්සරහ ඉන්නවා.
අප්පට බොල ගුණේ අයියේ කොහෙදෑ ගියේ.....
ආහ් මලයෝ මේ රැළියට ගිහින් එන ගමං....
පිස්සු පීකුදු නේ ....
ගුණේ අයියා කුරුණෑගල රැළියට යැ ගියේ....
හැප්.... නෑ බොලව් කැම්බෙල් කැම්බෙල්....
ඈහ්... උඹ සදා හරිත නේහ්......
එව්වා එහෙම තමයි මලයා.... දැන් බලපං, අපි කොයි පාට එකට ගියත් ඇඟේ දුවන්නේ රතු පාට ලේ නේහ්. ආන්න ඒ වගේ තමා... පස්සේ පාට මොක උනත් ඇතුලේ දුවන්නේ කොළ පාට නේහ්. එව්වා එහෙම වෙච්චි එකේ ලාවට නිල වෙච්චි කොළ පාට තමා පහර.
කතාව සිරා ය. ශ්‍රී ලංකා කිව්වට දැන් ශ්‍රී ලංකා එකක් නැත. ඇත්තේ මදේ කොළ වෙච්ච වටේ නිල් වෙච්ච පුහුල් ගෙඩියකි. ඒ වුනාට ගුණේ අයියලා තාමත් ලකුණට කඩේ යනවා ය. ගියැයි කියා කොරගත්ත අටමගලියකුත් නැත. ඒ ගැමියෙක් වෙච්චි උන්දැලා ගේ අව්‍යාජකම නිසා ද එහෙමත් නැත්නම් මෝඩකම නිසාද යැයි කියන්ඩ දන්නේ නැත.
මෙවර මැයි රැළි වෙනදාට වඩා ජනතා අවධානයට බඳුන් විය. හේතුව පක්ෂ දේශපාලනය තුල පැවති දැඩි ඒකාධිකාරය සහ පවතින ජනතා ප්‍රශ්න හමුවේ අනෙක් දේශපාලන බලවේග වල හැසිරීම පිලිබඳ තක්සේරුවයි. දැන් දැන් සමාජය පවතින ක්‍රමයට විකල්පයක් ඉල්ලමින් සිටී. ඇතැම්හු විකල්ප තෝරමින් සිටී. එවන් තත්වයක් හමුවේ සිය ප්‍රතිරූපය ඔපමට්ටම් කිරීමට මැයි රැළි යොදා ගැනීමට ප්‍රධාන දේශපාලන බලවේග ක්‍රියා කරනු පෙනිණි. වඩා වැදගත් සංසිද්ධිය වූයේ ඒ ඒ ධාරාවන්හි සැබෑ ස්වරූපය  නිරායාසයෙන් උද්දීපනය වීමයි. 
ආණ්ඩුවේ රැළිය මුළුමනින් පාහේ පෙරහැරක සිරි ගත්තේ ය. වැඩකරන ජනතාව පිලිබඳ කිසිඳු සටහනක් එහි නොවී ය. ආණ්ඩුවේ හරයක් නොමැති සැරසිලි දේශපාලන ආර්ථික ප්‍රතිපදාව ඉන් සන්ධ්වනය කිරිණි.
යූඇන්පිය පට්ට පජාත ය. විකල්ප ආණ්ඩුවක් විය යුතු සහ රටේ බාරධූර දේශපාලන බලමුළුවක තිබියයුතු සංයමය එහි තිබුනේ නැත.රැළි කිහිපයක් රටේ මුළු කිහිපයක තිබුනේ ය. ඒ යූඇන්පී කල්ලි වාදය පිළිබිඹු කිරීමට ය. 
ශ්‍රී ලංකාවේ සමාජවාදය කලාවක් කරගත් පිරිස් සිටිති. දීප්ති කුමාරලා ඒ කුලකයේ ඇත්තෝ ය. පෙරටුගාමී නඩය ද ඒ ගොඩට ම  වැටෙමින් සිටී. ඒ කලාවට මම බොහෝ සේ ඇලුම් කරමි. පෙරටුගාමී කලාත්මක සමාජවාදයට ඉත සිතින් සුබ පත්තන්නේ ඒ නිසාය. "සමාජවාදී ජීවිතය" කෙතරම් අරුත්බර ද මහතුනි?
ජෙප්පන් ගේ රැළිය දකිද්දී සෝවියට් රුසියාව සිහිවුනි. විනය top class ය. කතා කරන්නට දෙයක් නැත. ඔවුහු මහත් කැපවීමෙන් සහ නැවුම් උධ්‍යෝයෝගකින් රැළියේ ගමන්කරනු පෙනිණි. ජවිපෙ ට නව පූර්ණකාලීනයන් රැසක් එක්ව තිබෙනු දැකිය හැකි විය. 2004 සන්ධානයක් ගසාගෙන කුජීත වී එක පිම්මට බොහෝ දේ නැතිකරගත් ජෙප්පන් යලිත් අළු මතින් නැගී සිටින්නට උත්සාහ දැරීම සතුටට කරුණකි. 
අද ලෝකයා ලබන අයිතීන් කිසිවක් නොමිලයේ ලද ඒවා නොවේ. දහසක් ලේ දහසක් කඳුළු දහසක් කැපකිරීම් මත ගොඩනැගුන ඒවා ය. ලෝකය පුරා බොහෝ මිනිසුන් අනුන් උදෙසා කැමැත්තෙන් සිය ජීවිත කැපකලාහුය. 
අතීතය සුන්දර නැත. අනාගතය සුන්දර කිරීමට වත්මනෙහි වැඩ කල යුතු ය.
ඒත් ගුණේ අයියලා නම් තාමත් එතැනම ය.

No comments:

Post a Comment