Saturday, August 10, 2013

ආදී වාසි දිනය සහ අතීත කාමය

ඊයේ "අද" පත්තරය දවසක් පරක්කු වෙලා කියවන්ඩ ලැබුණා. නව වැනි පිටුවේ විශේෂාංග ගොන්නට එකතු වෙලා තිබුනේ අපේ ආදි වාසීන් පිළිබඳව. ඒ අගෝස්තු 09 ආදිවාසී දිනය නිමිත්තෙන්. ලේඛකයා ලිපිය අවසන් කරමින් වැදි ජනයා රැක ගන්නා ලෙසත් ඊට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් බලධාරීන් ගෙන් ඉල්ලා තිබුණා. තව දුරටත් අදහස් දක්වන ලේඛකයා ඔවුන්ගේ පාරම්පරික ජීවන රටාව ගෙනයාමට වනාන්තර පෙදෙස් ලබාදෙන ලෙසත් ඉල්ලා තිබුණා. කොටින්ම අද දර්ශනයට අනුව හුදෙක් පාරම්පරිකව උරුම වූ සංස්කෘතිය රැකීමේ අරමුණෙන් වැදි සනුහරයම මහ බැද්දට මනදො කල යුතු ය. ඔහුගේ ලිපිය එතනින් අවසන් වුවත් අපගේ ගැටලුව පටන්ගන්නේ එතැනින්.



එකී ඉතිහාසකරුවන් පරිසරවේදීන් අදහස් කරන පරිදි වැදි ජනයා යනු නවීන තාක්ෂනය, සංවර්ධනය අධ්‍යාපනය, උරුම නොවූ ප්‍රදර්ශනීය සත්ත්ව විශේෂයකි. ලෝකය ඉදිරියට යද්දී අතීතකාමී මිනිසුන්ගේ ස්වයං  වින්දනය වෙනුවෙන් වැද්දෝ දුනු ඊතල රැගෙන දඩයමේ යා යුතු ය.නමුත් අපගේ අදහස නම් ලෝකයට තමක් පසුපසින් සිටින මේ ජන කොටස ඉන් වැදි තත්වයෙන් මුදවා හනි හනික සමාජගත කලයුතු බවයි. භෞතික ජීවන තත්වයන් දියුණු කල යුතු බවයි. සමාජීය වශයෙන් හුදෙක් කෙටේරිය පිටේ එල්ලාගත් නායකයෙකු නොව ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා, පාර්ලිමේන්තුව නියෝජනය කරන නායකත්වයක් උරුම කර දිය යුතු බවයි.රටේ අනෙක් සියලුම ජාතීන් ලබන වරප්‍රසාද ලැබීමට ඔවුන ද සුදුස්සෝ වෙති. ආදිවාසි පරපුරක උපන් පමණින් ඔවුහු අර්ධ නග්නව කෙටේරිය කරේ දමා කැලයට වී ඉතිහාසකාමීන්ට මෝඩ ආතල් දිය යුතු නැත. ඒ අම්මලාට තාත්තලාට දාව උපන් පුංචි එකාලාට අනික් උන්ට වාගේම සමාන අයිතිවාසිකම් සහිතව නවීන මිනිසෙකු වීමේ අවස්ථාව උරුම කර දිය යුතු ය.
එවන් ක්‍රමයක් තුල "වැද්දා" නම අතුරුදන් වූවාට කම් නැත. ඔවුන් සතු සුවිශේෂී දැනුමක්, කලාවක් තිබේ නම් අදාල ආයතන ඔස්සේ සංරක්ෂණය කර තැබීම පමණක් ප්‍රමාණවත් ය.

No comments:

Post a Comment